Thursday 30 June 2022

පැන්ඩෝරා පේපර්ස්




ටිකක් පරණ මාතෘකාවක් නම් තමයි.ඒත් මේක වර්තමානයේ ලංකාවේ තත්වයට නම් ගොඩක් වටින කතාවක්.පසුගිය දිනවල පැන්ඩෝරා පත්‍රිකා එලිදරව් වීමත් සමග පැන්ඩෝරා යන වචනයද අප අතර බොහෝ ලෙස ප්‍රචලිත වුණ කතා බහක් බවට පත් වුණා.

මේ පැන්ඩෝරා පේපර්ස් යනුවෙන් නම් කර ඇත්තේ ග්‍රීක මිත්‍යා කතා වල සදහන් "පැන්ඩෝරා සහ ඇගේ පෙට්ටගම" පිලිබද කතාව සිහිගන්වමින්..ග්‍රීක මිත්‍යා කතා වලින් බිදී ආ මෙම වචනයෙන් ලෝකයට අනර්ථයක් , විනාශයක් වන බවට විශ්වාසය වුණා.ඒ නිසා මේ පෙට්ටිය විවෘත නොකල යුතු එකක් ලෙස සලකනවා.

පපැන්ඩෝරා පේපර්ස් එක පැත්තකින් සමාජයට සාධාරණයක් ඉටු කරන අතරම තවත් විටෙක සමාජ අර්බුද කැළඹීම් ගණනාවකටම මුඛයතම හේතු සාධකය වී තිබෙනවා.ඒ වෙන කිසිවක් නිසා නොව හිටපු සහ වත්මන් ලෝක නායකයින් , ධනවතුන් , බලවතුන් , දේශපාලඣ්යන් ,ප්‍රකෝටිපතියන් ඇතුලු ලොව ප්‍රබලයන් බොහෝ දෙනෙකුගේ අයථා මුදල් රැස් කිරීම් , බදු පැහැර හැරීම් ,මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුලු රහස්‍ය ධනය සහ රහස්‍ය මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ පැන්ඩෝරා  පත්‍රිකා මගින් අණාවරනය වීමත් සමගයි.

මෙය විශාලතම මූල්‍ය ලේඛන හෙලිදරව්ව ලෙස  විදෙස් මාධ්‍ය මගින් පෙන්වා දී තිබෙනවා.පැන්ඩෝරා පේපර්ස් අණාවරනය පසුපස සිටින්නේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. 

ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේශනාත්මක මාධ්‍යවේදීන් 650ක් පමණ මෙම අණාවරනය සිදු කිරීමට දායක වී තිබෙනවා. ඒ වසර 7ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින් එක් රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කරගනිමින්.ඒ අනුව පැන්ඩෝරා පේපර්ස් හරහා ප්‍රසිද්ධියට පත් වුණු වාර්තා හා ලිපිගොණු ගණන මිලියන 12 ඉක්මවයි.ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා හෙලිදරව්වක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බව කිව හැකයි.

නොයෙකුත් වංචනික ක්‍රියා මගින් උපයාගත් ධනය සැගවූ දේශපාලඣ්යනගේ හා ප්‍රකෝටිපතියන්ගේ ගනුදෙනු පිලිබද රහස් තොරතුරු මෙම පත්‍රිකා මගින් හෙලි වීමත් සමගම ලෝකයේ රටවල් රැසක්ම දැඩි කැළඹීමකට පත්ව තිබෙනවා..ඒ එම රටවල් දැඩි දරිද්‍රතාවයකින් මෙන්ම සංවර්ධනය        හීනතාවයකින් පෙළීමට මුක්‍යතම කරුණ ලෙස ජනයාගේ පොදු මහජන මුදල් සූරා කෑමෙන් එකී දේශපාලන ධනවත් පුද්ගලයින් සුරසැප විදීම නිසාය.

ශ්‍රී ලංකාව තුලද වර්තමානයේ පවතින දැඩි උද්ධමනයට ඍජුවම සම්බන්ධ වන්නේද මෙම කාරණයයි.ඒ අනුව පැන්ඩෝරා පේපර්ස් මගින් හෙලිදරව් කරන්නේ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් යන අය රටවල් කීපයක ආයතන පිහිටුවා ඇති බවත් ඉන් එක් ආයතනයක් ලන්ඩන් නුවර සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණ මිලදී ගැනීම සදහා වන බවත් පැන්ඩෝරා වාර්තා මගින් ලෝකයට අණාවරනය කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකා රජය සමග ව්‍යාපාරික ගණුදෙනු සිදු කල විදේශීය ආයතන කිහිපයකට තිරුකුමාර් නඩේෂන් මහතාට අයත් තවත් එක් සමාගමකින් උපදේශන සේවා සපයා ඇති බවටද පැන්ඩෝරා පත්‍රිකා වල සදහන්ව තිබෙනවා.

මේ ලංකාව හා සම්බන්ධ තත්වයයි.ලෝකයේ හිටපු සහ වත්මන් ප්‍රබල රාජ්‍ය නායකයින් 35 දෙනෙක් , මහජන නිලධාරීන් 300ක් , ධනවතුන් , කෝටිපතියන් , ක්‍රීඩා තරු , නළු නිලියන් ගායක ගායිකාවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයන් රාජකීය බදු ගෙවීම් පැහැර හරිමින් සිදු කල අයථා මුදල් එක් රැස් කිරීම් දේපල මිලදී ගැනීම් ඇතුලු අසාධාරණ වත්කම් රැසකගේ තොරතුරු පැන්ඩෝරා වාර්තා මගින් එලි දක්වා තිබෙනවා.

         රුසියන් ජනපති , අසර්බයිජාන් ජනපති 

                          සහ අබ්දුල්ලා රජු                

පැන්ඩෝරා පේපර්ස් හරහා මූල්‍ය අකටයුතුකම් වලට සම්බන්ධ වූ රාජ්‍ය නායකයන් හා ප්‍රබලයන් අතර ඉදිරියෙන්ම පසු වන්නේ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුය. ඔහු බ්‍රිතාන්‍යයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක රහසිගත දේපල  රැස් කර ඇති බව දක්වයි. එමෙන්ම රජතුමා ව්‍යාජ සමාගම් මාර්ගයෙන් ඇමරිකාවේ කැල්ෆෝනියාවේත් , වොෂින්ටන් අගනුවරත් , යුරෝපා රටවලත් ඉඩම් මිලදීගෙන තිබේ. මෙම අණාවරනයත් සමග ජෝර්දානයේ වැසියන් රජුට එරෙහිව නොසතුට පල කර ඇති බව අල් ජසීරා පුවත් මාධ්‍ය දක්වා තිබේ. 

             බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්

                        සහ ඔහුගේ බිරිඳ චෙරී                

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ වන චෙරී අයථා ලෙස මුදල් රැස් කර ඇති බව පැන්ඩෝරා වාර්තා පෙන්වා දෙයි. ඔවුන් ලන්ඩන් නුවර කාර්‍යාලයක් මිලදී ගැනීමේදී පවුම් මිලියන 6.45ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්තාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් 312,000ක මුද්දර ගාස්තු  නොගෙවා වංචා කර ඇති බව පැන්ඩෝරා පත්‍රිකා සදහන් කරයි.

තවද රුසියාවේ ජනාධිපති  ව්ලැදිමීර් පුටින්ගේ නමද මේ පැන්ඩෝරා පේපර්ස් වල සදහන් වන්නේ මොනාකෝ රාජ්‍යයේ තමා සතුව රහසිගත දේපල ඇති බැව් හෙලිදරව් කරමිනි. එමෙන්ම ජනතා මුදල් කොල්ල කෑ බවට චෝදනා එල්ල වන අසර්බයිජාන් ජනපති ඉල්හාම් අලිවේස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පවුම් මිලියන 400ක මුදල් යොදවා එක්සත් රාජධානියෙන් දේපල මිලදී ගැනීම් සිදුකර ඇති බව පැන්ඩෝරා පේපර්ස් සදහන් කරයි. තවද කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සය දෙනෙකු සතුව රහසේ ක්‍රියාත්මක විදෙස් සමාගම් ජාලයක් ඇති බව අණාවරනය වෙයි. එම ජාලයට සමාගම් 11ක් අයත් බවත් ඒවායේ වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 30ක් බවත් පැවසෙයි.

තවද සයිප්‍රසයේ ජනාධිපති නිකොස් ඇනෙස්ටාටියඩේස් ව්‍යාජ නම් වලින් විදෙස් සමාගම් වල මුදල් තැම්පත් කර තිබේ. එමෙන්ම යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි 2019 ජනාධිපතිවරණයෙන්  ජය ගත් සැනින් ඔහු සතු වත්කම් විදේශ බැංකු වල තැම්පත් කර ඇති බවට පැන්ඩෝරා පේපර්ස් තොරතුරු අණාවරනය කරයි.

එපමණක්ද නොව ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සුපිරි පොප් ගායිකා ශකීරා ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම්ද පැන්ඩෝරා පේපර්ස් මගින් හෙලිදරව් කර තිබේ.

පැන්ඩෝරා පේපර්ස් මගින් රහස්‍ය වත්කම් ගණුදෙනු පිලිබද චෝදනා ලත් පුද්ගලයින්ගෙන් ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ නායකයෙක් වන්නේ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රන් කාන්ය.එරට රජය හා සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන්ගේ නම්ද පැන්ඩෝරා ලේඛන වල දැක්වෙන අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට අදාලව විමර්ශනයක් සිදු කර ඔවුන් වැරදිකරුවන් ලෙස හෙලි වුනහොත් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පැන්ඩෝරා පේපර්ස් අණාවරනයේදී  " වොෂින්ටන් පෝස්ට් "  "ද ගාඩියන් " ආදී මාධ්‍ය ආයතන මූලිකත්වය ගෙන කටයුතු කරන අතරම එම මාධ්‍ය ආයතන උපුටා දක්වමින් ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන රැසක්ම මෙම අණාවරන ප්‍රසිද්ධියට පත් කර ඇත.


              රැසියානු ජනපති ව්ලැදිමීර් පුටින් 



       ඉන්දීය  ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්

මෙම වංචා හා ගණුදෙනු බොහෝ විට වසර ගණනක් ඉපැරණි ඒවා වන අතර රටක් අරාජික තත්වයට පත් වීමට එක දිගට අසාධාරණ ලෙස රටේ මුදල් සූරාකන පාලකයන් බිහි වීමේ ප්‍රථිපලයේ පිලිබිඹුවක් ලෙස පෙන්වා දිය හැකිය.කෙසේ වුවත් අතීතයේ සිදුකල මෙම වංචා සහ ගණුදෙනු එලිදරව් වන්නේ වර්තමානයේ බැවින් මේ සදහා පරීක්ෂණ සිදු කිරීමට සිදු වන්නේද පවතින වත්මන් ආණ්ඩුන් යටතේය.ඒ වන විට සියල්ල සිදු වී හමාර වන අතර කිරීමට ඉතිරිව ඇත්තේ චෝදනා ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණි.

 බොහෝ අවස්ථාවන්හිදී රටක් මූල්‍යමය හා ආර්ථිකමය වශයෙන් අස්ථාවර කරමින් මෙලෙස ලෝකයේ බලවතුන් යැයි කියාගන්නා ඇතැම් සම්මත පුද්ගලයින් තම සුඛ විහරණය උදෙසා රටේ අසරණ මහජනතාවගෙන් රට සංවර්ධනය පිණිස ලබා ගන්නා බදු මුදල් හා ණය ආධාර අසාධාරණ ලෙස සූරා කමින් රටේ ජනතාව පීඩාවට පත් කිරීම ඉතා නින්ධිත ක්‍රියාදාමයක් වශයෙන් හැදින්විය හැකිය. එලෙස සිදු කරන සමාජ අසාධාරණකම් පරයා නැගී සිටීමට මේ පැන්ඩෝරා පත්‍රිකා මගින් සිදු කරන මෙහෙවර අපමණ බව කිව හැකිය.

                                                                         -✍️ සදා

                      

5 comments:

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද?

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද ? වාල්මිකී රචනා කල රාමායණය ප්‍රබන්ධයක්ද? රාමා,සීතා,රාවණා,හනුමාන් සැබවින්ම ජීවත් උනාද?රාම සේත...