Friday 16 June 2023

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද?

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද ?

වාල්මිකී රචනා කල රාමායණය ප්‍රබන්ධයක්ද? රාමා,සීතා,රාවණා,හනුමාන් සැබවින්ම ජීවත් උනාද?රාම සේතු පාලම ඉදි කරන ලද්දේ රාමාගේ වානර හමුදාවද?එලඹ ඇත්තේ මේ පිලිබද සොයා බැලීමට ඇති කාලයයි. ඒ ආදම්ගේ පාලම නැතහොත් රාම සේතු පාලම ස්වභාවික නිර්මාණය වූවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇමරිකාවේ "සයන්ස් චැනල් නාලිකාව" , "වට් ඔන් අර්ත්" නැමති විශේෂ වැඩසටහනක් මගින් කරන ලද හෙලිදරව්වක් හේතුවෙනි.

කලකට ඉහත නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් චායාරූප වලට හසු කරගෙන තිබේ. එම චායාරූප ඇසුරින් රාම් සේතු පාලම සම්බන්ධයෙන් පර්‍යේෂණයක නිරත වූ ඇමරිකන් භූ විද්වතුන් පිරිසක් මෙය ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදි කරන ලද්දක් ය යන නිගමනයට එලඹ තිබේ. එමෙන්ම සමුද්‍ර විද්වතුන්ද මෙය සාමන්‍ය වැලි පරයකින් එහා ගිය විශේෂ එකක් බව දක්වයි. වැලිපරය මතුපිට වෙනත් ප්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදි කර ඇතැයි ඔවුන්ගේ මතය විය.මෙවැනි විශාල පර්වත එම ස්ථානයට රැගෙන ආවේ කෙසේද? යන්න අභිරහසක් බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

ඇමරිකන් පුරාවිද්වරියක වන චෙල්සියා රෝස්ට අනුව මේ වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණිය. මේ පාෂාණ සම්බන්ධයෙන් කල කාල නිර්ණය පර්‍යේෂණ වලදී ඒවා වසර 7000ක් පමණත්, වැලිපරය වසර 4000ක් පමණත් පැරණි බවට අණාවරනය කරගෙන තිබේ. වැලිපරය පසු කාලයේ ස්වභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයිද, පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදි කරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වී තිබේ.

විද්වතුන්ගේ නව මතය ප්‍රකාශයට පත් වීමත් සමග ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වී තිබේ.භාරතීය ජනතා පක්ෂ නායකයන් රාම කුමරු පුරාවුර්තාන්තය සත්‍යක් බවට මේ හෙලිදරව්වෙන් පිලිගන්නා අතර, 2008 වසරේ ඉන්දීය රජය "සේතු සමුද්‍රම්" නමින් දෙකොන යා කර නාවික මාර්ගයක් ස්ථාපිත කිරීමට කල යෝජනාවට, භාරතීය ජනතා පක්ශය හා හින්දු අන්තවාදී සංවිධාන විරුද්ධ වූයේ පාලමේ කොටසකට හානි වන බවට චෝදනා කරමිනි.

සේතු සමුද්‍රම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඩී.එම්.කේ පක්ෂය පෙත්සමක් ගොනු කරන ලද අතර ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වූයේ ,

"එහි පාලමක් නොමැත. මිනිසා නිර්මාණය කල කිසිවක් නොමැත. එවැන්නක් කල හැක්කේ සුපර්මෑන් කෙනෙකුට පමණි. පාලමක් ඉදි කෙරුනා නම් එය සුපිරි මිනිසෙකු ඉදිකරනු ලැබ, යලි ඔහු විසින්ම විනාශ කෙරෙන්නට ඇත.සියවස් ගණනාවක් පුරා මේ සම්බන්ධයෙන් කිසිවෙකු සදහන් කර නොමැත්තේ එහෙයිනි. මෙය රාම කුමරු ඉදිකල පාලමකැයි කියමින් එයට වන්දනාමාන කිරීම ඇරඹුනේ මෑතක සිටය" යන ලෙසිනි.

 රාම් සේතු පාලම යැයි හදුන්වන ප්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථාන වල අඩි 30ක් හා අඩි 3,4 අතර පමණ වේ යැයි "නිව්ස් 18" නැමති නාලිකාව සදහන් කරයි.

මෙහි ඇතැම් ස්ථානවල ඇති වැලිපර වියලිය.15 වැනි සියවස තෙක් මේ වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහලින් පැවතියේය. ඒ මතින් පා ගමනින් යා හැකිව තිබූ බව විද්වතුන් පවසති. පසුව ක්‍රි.ව 1480 ඇති වූ කුණාටුවකින් වැලි පරය විනාශ වී තිබේ.       

රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත්, ඉන්දියාවේ රාමේශ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය. එය සැතපුම් 30 පමණ දිගින් යුක්තය.මේ රාම් සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතී. හින්දු පුරාකතාවක් වන රාමායනයට අනුව ශ්‍රී ලංකාවේ  රාවණා රජු රාම කුමරුගේ බිසව සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය. ඇය ගලවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මේ පාලම ඉදිකල බව එහි සදහන් වේ. තවත් මතයකට අනුව අයිස් යුගයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබූ අතර ඉන්දියාවේ කොටසක්ව පැවති ශ්‍රී ලංකාව වසර 125,000 පමණ පෙර වෙන් වී තිබේ.

මේ පාලම පිලිබද ඉතිහසගත තොරතුරු ප්‍රථමයෙන්ම හමුවන වාල්මිකීගේ රාමායණයේ මෙය "රාමාසේතු" නැත්නම් "රාමාගේ පාලම" යන නමින් හදුන්වයි. රාමායණයේ 2-22-76 වැනි පද්‍යයට අනුව රාම එය "සේතුබන්ධනම්" ලෙස නම් කර තිබුණි. දැනට ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි.ව 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මේ ප්‍රදේශය "රාමන්කොයිල්" යනුවෙන්ද තවත් සිතියමක "රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය" යනුවෙන්ද මෙය හදුන්වයි. එමෙන්ම මාර්කෝපෝලෝගේ සිතියම් වල මේ ප්‍රදේශය "සේතුබන්ධ" සහ " සේතුබන්ධ රාමේශ්වරම් " යනුවෙන් නම් කර ඇත. ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත "බුක් ඔෆ් රොඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්" හි මෙය "මුහුදේ ඇති පාලම" ලෙස හදුන්වයි. 1804 බ්‍රිතාන්‍යන් නිර්මාණය කල සිතියමක මෙය ආදම්ගේ පාලම ලෙස දක්වයි. පුරාණ ඉස්ලාමික ග්‍රන්ථ වල ලංකාව හැදින්වෙන්නේ "ආදම්ගේ කන්ද" ලෙසය. ආදම් පොලවට පතිත වී, ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මේ ස්ථානය ඔස්සේ ගමන් කල බවට සදහන් වන හෙයින් රාමාගේ පාලම "ආදම්ගේ පාලම" ලෙස ලෙසින්ද   හැදින්වෙයි. කෙසේ වුවද වර්තමානයේ මෙය "සේතු සමුද්‍රම්" නමින් හදුන්වන්නේ "පාලමක් සහිත මුහුදු ප්‍රදේශය" යන අර්ථය ඇතිවය.

කරුණු කෙසේ වුවද විද්වතුන්ගේ මතය සත්‍යක් නම් මහ සයුර මතින් පාලමක් ඉදි කිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනකට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියකි. ඒ අනුව රාම පුරාවුර්තාන්තය ද සත්‍යයක් බවට පත් වනු ඇත.

 ✍️සදා -                



Monday 12 June 2023

මහ මුහුදෙන් මතු කරගත් ආර්ථික නිධානය

මහ මුහුදෙන් මතු කරගත් ආර්ථික නිධානය

රට තුල දැවන්ත සංවර්ධන කාර්යක් සාක්ෂාත් කරගැනීමේදී කිසිදු රටකට හෝ රාජ්‍යකට තනිව එම ඉලක්ක සපුරා ගැනීම පහසු කටයුත්තක් නොවේ.ගෝලීය වශයෙන් එකමුතු භාවයත්, රටවල් අතර සාමූහිකත්වයත් අවශ්‍ය වන්නේ ඒ නිසාය.එහිදී ආර්ථික වශයෙන් දියුණු රටවල් මූල්‍යමය, තාක්ෂණිකමය ආදී ලෙස තම දායකත්වය අනෙකුත් රටවලට දීමෙන් එම රටවල දියුණුව අපේක්ශා කරන අතරම එහි ප්‍රතිලාභ තම රටවලට හිමිකර ගැනීමට අපේක්ෂා කිරීම නොවැලැක්විය හැකි කාරණයකි.

2011 වසරේදී මුලින් ශ්‍රී ලංකාවේ වරාය නගරය ඉදි කිරීමේ යෝජනාව ඉදිරිපත් කලේ චීන රජයට අයත් සමාගමක් වන චීන සන්නිවේදන හා ඉදිකිරීමේ සමාගමයි. 2014 වසරේදී චීන අගමැති ෂී ජින් පින් අතින් මේ ව්‍යාපෘතියේ ආරම්භය සිදු වූයේ ශ්‍රී ලංකා රජය හා චීන සන්නිවේදන හා ඉදිකිරීම් සමාගමට අනුබද්ධ සමාගමක් වූ China Harbour Ingineering Corporation (CHEC)අතර අත්සන් කල ගිවිසුමට අනුවය.

මෙය හම්බන්තොට වරාය, ගුවන්තොටුපල, අධිවේගී මාර්ග, විදුලි බලාගාර මෙන්ම නෙළුම් කුලුණ වැනි ලංකාවේ අති දැවැන්ත ඉදිකිරීම් රාශියක් සිදු කල සමාගමකි. මේ සදහා 2014 වසරේ ගිවිසුම්ගත්ග වූ ආකාරයේ නීතිමය තත්වය වෙනස් කර එයට යම් සාධනීය ලක්ෂණ කිහිපයක් එක් කිරීමට හැකි වූයේ 2016 වසරේදී අත්සන් කල ගිවිසුමෙනි. පසුව නීතිපතිගේ අනුමැතියද සහිතව 2019 සැප්තැම්බර් මස ඉදිරිපත් කල කෙටුම්පතින් හා 2020 වසරේ අගමැතිවරයා පත් කල ෆර්ඩිනැන්ඩස් කොමිසමෙන් ඉදිරිපත් කල යෝජනා වලින් යෝජිත වරාය නගර කොමිසම වෙත රජයේ මැදිහත් වීම පිලිගන්නා ලදි. එහිදී ගොඩකරන වපසරිය සම්බන්ධයෙන් ඉදි කරන සමාගම හා රජය අතර බෙදී යන ප්‍රතිශතය ද තහවුරු විය. 

ඒ අනුව මුලු ගොඩබිම් ප්‍රමාණයෙන් ඉදිකිරීම් කල CHEC සමාගමට හෙක්ටයාර 91ක් ද, රජයට අයත් ප්‍රදේශ ලෙස හෙක්ටයාර 116ක්ද, මාර්ග, උද්‍යාන, දියකඩිති ආදී  පොදු විනෝද කටයුතු වෙනුවෙන්  හෙක්ටයාර  91ක්ද, රජයට අයත් ප්‍රදේශ ලෙස හෙක්ටයාර 62ක්ද වශයෙන් වෙන් කරන ලදි.

මෙය මුහුද ගොඩකර දූපතක් නිර්මාණය කර එහි නගරයක් ඉදිකිරීම හා එය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කෙරෙන ඩොලර් බිලියන 1.4ක් ආයෝජනය කල යුතු දැවැන්ත ව්‍යාපෘතියකි. මෙරට භූමියට අලුතින් එක් වූ සමස්ත දූපතේ වපසරිය හෙක්ටයාර 269.3කි. එනම් අක්කර 1116කි. මෙම භූමිය කලාප 5කට බෙදා ඇත. කළුගල් ඝණමීටර මිලියන 3.6ක් හා චයිනීස් පොඩ්ස් කොන්ක්‍රීට් කුට්ටි 42,000ක් යොදා මීටර් 20ක් උසකින් හා මීටර් 3245ක දිගකින් යුත් දියකඩනයත්, වැලි ඝණමීටර් මිලියන 65ක් යොදා මුහුදෙන් මතු කරගත් ගොඩබිමත්, ඒ වටා මීටර් 5599ක් දිගැති කළුගල් රැදවුම් බැම්මේත්මේ සියලු වැඩකටයුතු මේ වනවිට අවසන් වෙලා අවසානය. එමෙන්ම ගොඩබිම හා  මුහුද යා වන රැදවුම් බැම්ම හා එක්වන පරිදි  දැවන්ත කොන්ක්‍රීට් කියුබ්ස් තැම්පත් කර තිබේ. යටිතල පහසුකම් හා දෙවන අදියරේ ඉදිකිරීම් මේ වන විටත් අවසන් අතර ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් අවසන් වන කාලය ලෙස ගිවිසගෙන ඇත්තේ 2041 වසරයි.

ආයෝජකයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ඉදිවන හෝටල් සංකීර්ණ, නිවාස සංකීර්ණ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සතුටු උයනක්, කිලෝමීටර් 2ක් දිග සුන්දර කෘතීම වෙරළ තීරයක්, ශාක 10,000කින් සපිරි හරිත උද්‍යානයක්, ඇල මාර්ගයක්ද, සැහැල්ලු බෝට්ටු යාත්‍රාංගනයක්ද, ඇණ මුරිච්චි නැතිව ලංකාවේ මුල්වරට එල්ලෙන පාලමත් මෙහි පවතින විශේෂ ස්ථාන කීපයකි.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කර දැනට වසර ගණනාවක් ගත වුවද මෙහි ඇති වටිනාකම සියලු තත් කාලයන්ට අයත් වන්නේ මෙය සමස්ත ආර්ථික ක්‍රියාවලියක නියැදියක් වශයෙනි. ඒ බව පැහැදිලිවම දැකගත හැකිවූයේ පසුගිය සමයේ අප රට තුල ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදය තුලදීය.තවමත් නොවිසදුණු රටේ අර්බුදයන් ජය ගැනීම සදහා සුදුසුම හා එකම මාර්ගය රටට විදේශ ආයෝජන ගෙන ඒමයි. යැපුම් හා ණය මානසිකත්වයෙන් මිදී ඒ වෙනුවට ආයෝජන සංකල්පය ආදේශ කිරීම ඉතා යෝග්‍ය තීරණයක් බැවින් මෙම වරාය නගර ව්‍යාපෘතිය  ශ්‍රී ලංකාවට වටිනා මෙන්ම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක අඩිතාලම වශයෙන් සැලකිය හැකිය

විදේශ ආයෝජනයන් රට තුලට ගලා ඒම නිසා ගොඩනැගෙන තාක්ෂණික, දැනුම් හා සේවා ක්ෂේත්‍ර ලගා කරගැනීමෙන් ලබා ගන්නා දියුණුව අත් වන්නේ සීමිත පිරිසකට නොවේ.මින් උත්පාදනය වන සෘජු, වක්‍ර හා උත්තේජන බලපෑම් සමස්ත ජනතාවටම විසිර යයි. ඒ අනුව මෙසේ පියවරෙන් පියවර ඉදිකෙරෙන වරාය නගර ව්‍යාපෘතිය පාරිසරික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් පුද්ගල ජීවිත වලට විවිධ අයුරින් බලපෑම් එල්ල වුවද රටම ආයෝජන කලාපයක් ලෙස ගිඩනැගෙන බල මධ්‍යස්ථානයක් බවට පත් කර ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය වෙත ගෙන යන ප්‍රයත්නයේ යථාර්තයක් බවට පත්වනු  දැකීම සියලු පුරවැසියන්ගේ අපේක්ශාව වනු ඇත.

                        ✍️ සදා


                                                            

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද?

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද ? වාල්මිකී රචනා කල රාමායණය ප්‍රබන්ධයක්ද? රාමා,සීතා,රාවණා,හනුමාන් සැබවින්ම ජීවත් උනාද?රාම සේත...