Friday 16 June 2023

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද?

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද ?

වාල්මිකී රචනා කල රාමායණය ප්‍රබන්ධයක්ද? රාමා,සීතා,රාවණා,හනුමාන් සැබවින්ම ජීවත් උනාද?රාම සේතු පාලම ඉදි කරන ලද්දේ රාමාගේ වානර හමුදාවද?එලඹ ඇත්තේ මේ පිලිබද සොයා බැලීමට ඇති කාලයයි. ඒ ආදම්ගේ පාලම නැතහොත් රාම සේතු පාලම ස්වභාවික නිර්මාණය වූවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇමරිකාවේ "සයන්ස් චැනල් නාලිකාව" , "වට් ඔන් අර්ත්" නැමති විශේෂ වැඩසටහනක් මගින් කරන ලද හෙලිදරව්වක් හේතුවෙනි.

කලකට ඉහත නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් චායාරූප වලට හසු කරගෙන තිබේ. එම චායාරූප ඇසුරින් රාම් සේතු පාලම සම්බන්ධයෙන් පර්‍යේෂණයක නිරත වූ ඇමරිකන් භූ විද්වතුන් පිරිසක් මෙය ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදි කරන ලද්දක් ය යන නිගමනයට එලඹ තිබේ. එමෙන්ම සමුද්‍ර විද්වතුන්ද මෙය සාමන්‍ය වැලි පරයකින් එහා ගිය විශේෂ එකක් බව දක්වයි. වැලිපරය මතුපිට වෙනත් ප්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදි කර ඇතැයි ඔවුන්ගේ මතය විය.මෙවැනි විශාල පර්වත එම ස්ථානයට රැගෙන ආවේ කෙසේද? යන්න අභිරහසක් බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

ඇමරිකන් පුරාවිද්වරියක වන චෙල්සියා රෝස්ට අනුව මේ වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණිය. මේ පාෂාණ සම්බන්ධයෙන් කල කාල නිර්ණය පර්‍යේෂණ වලදී ඒවා වසර 7000ක් පමණත්, වැලිපරය වසර 4000ක් පමණත් පැරණි බවට අණාවරනය කරගෙන තිබේ. වැලිපරය පසු කාලයේ ස්වභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයිද, පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදි කරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වී තිබේ.

විද්වතුන්ගේ නව මතය ප්‍රකාශයට පත් වීමත් සමග ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වී තිබේ.භාරතීය ජනතා පක්ෂ නායකයන් රාම කුමරු පුරාවුර්තාන්තය සත්‍යක් බවට මේ හෙලිදරව්වෙන් පිලිගන්නා අතර, 2008 වසරේ ඉන්දීය රජය "සේතු සමුද්‍රම්" නමින් දෙකොන යා කර නාවික මාර්ගයක් ස්ථාපිත කිරීමට කල යෝජනාවට, භාරතීය ජනතා පක්ශය හා හින්දු අන්තවාදී සංවිධාන විරුද්ධ වූයේ පාලමේ කොටසකට හානි වන බවට චෝදනා කරමිනි.

සේතු සමුද්‍රම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඩී.එම්.කේ පක්ෂය පෙත්සමක් ගොනු කරන ලද අතර ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වූයේ ,

"එහි පාලමක් නොමැත. මිනිසා නිර්මාණය කල කිසිවක් නොමැත. එවැන්නක් කල හැක්කේ සුපර්මෑන් කෙනෙකුට පමණි. පාලමක් ඉදි කෙරුනා නම් එය සුපිරි මිනිසෙකු ඉදිකරනු ලැබ, යලි ඔහු විසින්ම විනාශ කෙරෙන්නට ඇත.සියවස් ගණනාවක් පුරා මේ සම්බන්ධයෙන් කිසිවෙකු සදහන් කර නොමැත්තේ එහෙයිනි. මෙය රාම කුමරු ඉදිකල පාලමකැයි කියමින් එයට වන්දනාමාන කිරීම ඇරඹුනේ මෑතක සිටය" යන ලෙසිනි.

 රාම් සේතු පාලම යැයි හදුන්වන ප්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථාන වල අඩි 30ක් හා අඩි 3,4 අතර පමණ වේ යැයි "නිව්ස් 18" නැමති නාලිකාව සදහන් කරයි.

මෙහි ඇතැම් ස්ථානවල ඇති වැලිපර වියලිය.15 වැනි සියවස තෙක් මේ වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහලින් පැවතියේය. ඒ මතින් පා ගමනින් යා හැකිව තිබූ බව විද්වතුන් පවසති. පසුව ක්‍රි.ව 1480 ඇති වූ කුණාටුවකින් වැලි පරය විනාශ වී තිබේ.       

රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත්, ඉන්දියාවේ රාමේශ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය. එය සැතපුම් 30 පමණ දිගින් යුක්තය.මේ රාම් සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතී. හින්දු පුරාකතාවක් වන රාමායනයට අනුව ශ්‍රී ලංකාවේ  රාවණා රජු රාම කුමරුගේ බිසව සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය. ඇය ගලවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මේ පාලම ඉදිකල බව එහි සදහන් වේ. තවත් මතයකට අනුව අයිස් යුගයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබූ අතර ඉන්දියාවේ කොටසක්ව පැවති ශ්‍රී ලංකාව වසර 125,000 පමණ පෙර වෙන් වී තිබේ.

මේ පාලම පිලිබද ඉතිහසගත තොරතුරු ප්‍රථමයෙන්ම හමුවන වාල්මිකීගේ රාමායණයේ මෙය "රාමාසේතු" නැත්නම් "රාමාගේ පාලම" යන නමින් හදුන්වයි. රාමායණයේ 2-22-76 වැනි පද්‍යයට අනුව රාම එය "සේතුබන්ධනම්" ලෙස නම් කර තිබුණි. දැනට ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි.ව 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මේ ප්‍රදේශය "රාමන්කොයිල්" යනුවෙන්ද තවත් සිතියමක "රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය" යනුවෙන්ද මෙය හදුන්වයි. එමෙන්ම මාර්කෝපෝලෝගේ සිතියම් වල මේ ප්‍රදේශය "සේතුබන්ධ" සහ " සේතුබන්ධ රාමේශ්වරම් " යනුවෙන් නම් කර ඇත. ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත "බුක් ඔෆ් රොඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්" හි මෙය "මුහුදේ ඇති පාලම" ලෙස හදුන්වයි. 1804 බ්‍රිතාන්‍යන් නිර්මාණය කල සිතියමක මෙය ආදම්ගේ පාලම ලෙස දක්වයි. පුරාණ ඉස්ලාමික ග්‍රන්ථ වල ලංකාව හැදින්වෙන්නේ "ආදම්ගේ කන්ද" ලෙසය. ආදම් පොලවට පතිත වී, ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මේ ස්ථානය ඔස්සේ ගමන් කල බවට සදහන් වන හෙයින් රාමාගේ පාලම "ආදම්ගේ පාලම" ලෙස ලෙසින්ද   හැදින්වෙයි. කෙසේ වුවද වර්තමානයේ මෙය "සේතු සමුද්‍රම්" නමින් හදුන්වන්නේ "පාලමක් සහිත මුහුදු ප්‍රදේශය" යන අර්ථය ඇතිවය.

කරුණු කෙසේ වුවද විද්වතුන්ගේ මතය සත්‍යක් නම් මහ සයුර මතින් පාලමක් ඉදි කිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනකට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියකි. ඒ අනුව රාම පුරාවුර්තාන්තය ද සත්‍යයක් බවට පත් වනු ඇත.

 ✍️සදා -                



Monday 12 June 2023

මහ මුහුදෙන් මතු කරගත් ආර්ථික නිධානය

මහ මුහුදෙන් මතු කරගත් ආර්ථික නිධානය

රට තුල දැවන්ත සංවර්ධන කාර්යක් සාක්ෂාත් කරගැනීමේදී කිසිදු රටකට හෝ රාජ්‍යකට තනිව එම ඉලක්ක සපුරා ගැනීම පහසු කටයුත්තක් නොවේ.ගෝලීය වශයෙන් එකමුතු භාවයත්, රටවල් අතර සාමූහිකත්වයත් අවශ්‍ය වන්නේ ඒ නිසාය.එහිදී ආර්ථික වශයෙන් දියුණු රටවල් මූල්‍යමය, තාක්ෂණිකමය ආදී ලෙස තම දායකත්වය අනෙකුත් රටවලට දීමෙන් එම රටවල දියුණුව අපේක්ශා කරන අතරම එහි ප්‍රතිලාභ තම රටවලට හිමිකර ගැනීමට අපේක්ෂා කිරීම නොවැලැක්විය හැකි කාරණයකි.

2011 වසරේදී මුලින් ශ්‍රී ලංකාවේ වරාය නගරය ඉදි කිරීමේ යෝජනාව ඉදිරිපත් කලේ චීන රජයට අයත් සමාගමක් වන චීන සන්නිවේදන හා ඉදිකිරීමේ සමාගමයි. 2014 වසරේදී චීන අගමැති ෂී ජින් පින් අතින් මේ ව්‍යාපෘතියේ ආරම්භය සිදු වූයේ ශ්‍රී ලංකා රජය හා චීන සන්නිවේදන හා ඉදිකිරීම් සමාගමට අනුබද්ධ සමාගමක් වූ China Harbour Ingineering Corporation (CHEC)අතර අත්සන් කල ගිවිසුමට අනුවය.

මෙය හම්බන්තොට වරාය, ගුවන්තොටුපල, අධිවේගී මාර්ග, විදුලි බලාගාර මෙන්ම නෙළුම් කුලුණ වැනි ලංකාවේ අති දැවැන්ත ඉදිකිරීම් රාශියක් සිදු කල සමාගමකි. මේ සදහා 2014 වසරේ ගිවිසුම්ගත්ග වූ ආකාරයේ නීතිමය තත්වය වෙනස් කර එයට යම් සාධනීය ලක්ෂණ කිහිපයක් එක් කිරීමට හැකි වූයේ 2016 වසරේදී අත්සන් කල ගිවිසුමෙනි. පසුව නීතිපතිගේ අනුමැතියද සහිතව 2019 සැප්තැම්බර් මස ඉදිරිපත් කල කෙටුම්පතින් හා 2020 වසරේ අගමැතිවරයා පත් කල ෆර්ඩිනැන්ඩස් කොමිසමෙන් ඉදිරිපත් කල යෝජනා වලින් යෝජිත වරාය නගර කොමිසම වෙත රජයේ මැදිහත් වීම පිලිගන්නා ලදි. එහිදී ගොඩකරන වපසරිය සම්බන්ධයෙන් ඉදි කරන සමාගම හා රජය අතර බෙදී යන ප්‍රතිශතය ද තහවුරු විය. 

ඒ අනුව මුලු ගොඩබිම් ප්‍රමාණයෙන් ඉදිකිරීම් කල CHEC සමාගමට හෙක්ටයාර 91ක් ද, රජයට අයත් ප්‍රදේශ ලෙස හෙක්ටයාර 116ක්ද, මාර්ග, උද්‍යාන, දියකඩිති ආදී  පොදු විනෝද කටයුතු වෙනුවෙන්  හෙක්ටයාර  91ක්ද, රජයට අයත් ප්‍රදේශ ලෙස හෙක්ටයාර 62ක්ද වශයෙන් වෙන් කරන ලදි.

මෙය මුහුද ගොඩකර දූපතක් නිර්මාණය කර එහි නගරයක් ඉදිකිරීම හා එය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කෙරෙන ඩොලර් බිලියන 1.4ක් ආයෝජනය කල යුතු දැවැන්ත ව්‍යාපෘතියකි. මෙරට භූමියට අලුතින් එක් වූ සමස්ත දූපතේ වපසරිය හෙක්ටයාර 269.3කි. එනම් අක්කර 1116කි. මෙම භූමිය කලාප 5කට බෙදා ඇත. කළුගල් ඝණමීටර මිලියන 3.6ක් හා චයිනීස් පොඩ්ස් කොන්ක්‍රීට් කුට්ටි 42,000ක් යොදා මීටර් 20ක් උසකින් හා මීටර් 3245ක දිගකින් යුත් දියකඩනයත්, වැලි ඝණමීටර් මිලියන 65ක් යොදා මුහුදෙන් මතු කරගත් ගොඩබිමත්, ඒ වටා මීටර් 5599ක් දිගැති කළුගල් රැදවුම් බැම්මේත්මේ සියලු වැඩකටයුතු මේ වනවිට අවසන් වෙලා අවසානය. එමෙන්ම ගොඩබිම හා  මුහුද යා වන රැදවුම් බැම්ම හා එක්වන පරිදි  දැවන්ත කොන්ක්‍රීට් කියුබ්ස් තැම්පත් කර තිබේ. යටිතල පහසුකම් හා දෙවන අදියරේ ඉදිකිරීම් මේ වන විටත් අවසන් අතර ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් අවසන් වන කාලය ලෙස ගිවිසගෙන ඇත්තේ 2041 වසරයි.

ආයෝජකයන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ඉදිවන හෝටල් සංකීර්ණ, නිවාස සංකීර්ණ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සතුටු උයනක්, කිලෝමීටර් 2ක් දිග සුන්දර කෘතීම වෙරළ තීරයක්, ශාක 10,000කින් සපිරි හරිත උද්‍යානයක්, ඇල මාර්ගයක්ද, සැහැල්ලු බෝට්ටු යාත්‍රාංගනයක්ද, ඇණ මුරිච්චි නැතිව ලංකාවේ මුල්වරට එල්ලෙන පාලමත් මෙහි පවතින විශේෂ ස්ථාන කීපයකි.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කර දැනට වසර ගණනාවක් ගත වුවද මෙහි ඇති වටිනාකම සියලු තත් කාලයන්ට අයත් වන්නේ මෙය සමස්ත ආර්ථික ක්‍රියාවලියක නියැදියක් වශයෙනි. ඒ බව පැහැදිලිවම දැකගත හැකිවූයේ පසුගිය සමයේ අප රට තුල ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදය තුලදීය.තවමත් නොවිසදුණු රටේ අර්බුදයන් ජය ගැනීම සදහා සුදුසුම හා එකම මාර්ගය රටට විදේශ ආයෝජන ගෙන ඒමයි. යැපුම් හා ණය මානසිකත්වයෙන් මිදී ඒ වෙනුවට ආයෝජන සංකල්පය ආදේශ කිරීම ඉතා යෝග්‍ය තීරණයක් බැවින් මෙම වරාය නගර ව්‍යාපෘතිය  ශ්‍රී ලංකාවට වටිනා මෙන්ම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක අඩිතාලම වශයෙන් සැලකිය හැකිය

විදේශ ආයෝජනයන් රට තුලට ගලා ඒම නිසා ගොඩනැගෙන තාක්ෂණික, දැනුම් හා සේවා ක්ෂේත්‍ර ලගා කරගැනීමෙන් ලබා ගන්නා දියුණුව අත් වන්නේ සීමිත පිරිසකට නොවේ.මින් උත්පාදනය වන සෘජු, වක්‍ර හා උත්තේජන බලපෑම් සමස්ත ජනතාවටම විසිර යයි. ඒ අනුව මෙසේ පියවරෙන් පියවර ඉදිකෙරෙන වරාය නගර ව්‍යාපෘතිය පාරිසරික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් පුද්ගල ජීවිත වලට විවිධ අයුරින් බලපෑම් එල්ල වුවද රටම ආයෝජන කලාපයක් ලෙස ගිඩනැගෙන බල මධ්‍යස්ථානයක් බවට පත් කර ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය වෙත ගෙන යන ප්‍රයත්නයේ යථාර්තයක් බවට පත්වනු  දැකීම සියලු පුරවැසියන්ගේ අපේක්ශාව වනු ඇත.

                        ✍️ සදා


                                                            

Thursday 30 June 2022

පැන්ඩෝරා පේපර්ස්




ටිකක් පරණ මාතෘකාවක් නම් තමයි.ඒත් මේක වර්තමානයේ ලංකාවේ තත්වයට නම් ගොඩක් වටින කතාවක්.පසුගිය දිනවල පැන්ඩෝරා පත්‍රිකා එලිදරව් වීමත් සමග පැන්ඩෝරා යන වචනයද අප අතර බොහෝ ලෙස ප්‍රචලිත වුණ කතා බහක් බවට පත් වුණා.

මේ පැන්ඩෝරා පේපර්ස් යනුවෙන් නම් කර ඇත්තේ ග්‍රීක මිත්‍යා කතා වල සදහන් "පැන්ඩෝරා සහ ඇගේ පෙට්ටගම" පිලිබද කතාව සිහිගන්වමින්..ග්‍රීක මිත්‍යා කතා වලින් බිදී ආ මෙම වචනයෙන් ලෝකයට අනර්ථයක් , විනාශයක් වන බවට විශ්වාසය වුණා.ඒ නිසා මේ පෙට්ටිය විවෘත නොකල යුතු එකක් ලෙස සලකනවා.

පපැන්ඩෝරා පේපර්ස් එක පැත්තකින් සමාජයට සාධාරණයක් ඉටු කරන අතරම තවත් විටෙක සමාජ අර්බුද කැළඹීම් ගණනාවකටම මුඛයතම හේතු සාධකය වී තිබෙනවා.ඒ වෙන කිසිවක් නිසා නොව හිටපු සහ වත්මන් ලෝක නායකයින් , ධනවතුන් , බලවතුන් , දේශපාලඣ්යන් ,ප්‍රකෝටිපතියන් ඇතුලු ලොව ප්‍රබලයන් බොහෝ දෙනෙකුගේ අයථා මුදල් රැස් කිරීම් , බදු පැහැර හැරීම් ,මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුලු රහස්‍ය ධනය සහ රහස්‍ය මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ පැන්ඩෝරා  පත්‍රිකා මගින් අණාවරනය වීමත් සමගයි.

මෙය විශාලතම මූල්‍ය ලේඛන හෙලිදරව්ව ලෙස  විදෙස් මාධ්‍ය මගින් පෙන්වා දී තිබෙනවා.පැන්ඩෝරා පේපර්ස් අණාවරනය පසුපස සිටින්නේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. 

ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේශනාත්මක මාධ්‍යවේදීන් 650ක් පමණ මෙම අණාවරනය සිදු කිරීමට දායක වී තිබෙනවා. ඒ වසර 7ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින් එක් රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කරගනිමින්.ඒ අනුව පැන්ඩෝරා පේපර්ස් හරහා ප්‍රසිද්ධියට පත් වුණු වාර්තා හා ලිපිගොණු ගණන මිලියන 12 ඉක්මවයි.ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා හෙලිදරව්වක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බව කිව හැකයි.

නොයෙකුත් වංචනික ක්‍රියා මගින් උපයාගත් ධනය සැගවූ දේශපාලඣ්යනගේ හා ප්‍රකෝටිපතියන්ගේ ගනුදෙනු පිලිබද රහස් තොරතුරු මෙම පත්‍රිකා මගින් හෙලි වීමත් සමගම ලෝකයේ රටවල් රැසක්ම දැඩි කැළඹීමකට පත්ව තිබෙනවා..ඒ එම රටවල් දැඩි දරිද්‍රතාවයකින් මෙන්ම සංවර්ධනය        හීනතාවයකින් පෙළීමට මුක්‍යතම කරුණ ලෙස ජනයාගේ පොදු මහජන මුදල් සූරා කෑමෙන් එකී දේශපාලන ධනවත් පුද්ගලයින් සුරසැප විදීම නිසාය.

ශ්‍රී ලංකාව තුලද වර්තමානයේ පවතින දැඩි උද්ධමනයට ඍජුවම සම්බන්ධ වන්නේද මෙම කාරණයයි.ඒ අනුව පැන්ඩෝරා පේපර්ස් මගින් හෙලිදරව් කරන්නේ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් යන අය රටවල් කීපයක ආයතන පිහිටුවා ඇති බවත් ඉන් එක් ආයතනයක් ලන්ඩන් නුවර සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණ මිලදී ගැනීම සදහා වන බවත් පැන්ඩෝරා වාර්තා මගින් ලෝකයට අණාවරනය කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකා රජය සමග ව්‍යාපාරික ගණුදෙනු සිදු කල විදේශීය ආයතන කිහිපයකට තිරුකුමාර් නඩේෂන් මහතාට අයත් තවත් එක් සමාගමකින් උපදේශන සේවා සපයා ඇති බවටද පැන්ඩෝරා පත්‍රිකා වල සදහන්ව තිබෙනවා.

මේ ලංකාව හා සම්බන්ධ තත්වයයි.ලෝකයේ හිටපු සහ වත්මන් ප්‍රබල රාජ්‍ය නායකයින් 35 දෙනෙක් , මහජන නිලධාරීන් 300ක් , ධනවතුන් , කෝටිපතියන් , ක්‍රීඩා තරු , නළු නිලියන් ගායක ගායිකාවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයන් රාජකීය බදු ගෙවීම් පැහැර හරිමින් සිදු කල අයථා මුදල් එක් රැස් කිරීම් දේපල මිලදී ගැනීම් ඇතුලු අසාධාරණ වත්කම් රැසකගේ තොරතුරු පැන්ඩෝරා වාර්තා මගින් එලි දක්වා තිබෙනවා.

         රුසියන් ජනපති , අසර්බයිජාන් ජනපති 

                          සහ අබ්දුල්ලා රජු                

පැන්ඩෝරා පේපර්ස් හරහා මූල්‍ය අකටයුතුකම් වලට සම්බන්ධ වූ රාජ්‍ය නායකයන් හා ප්‍රබලයන් අතර ඉදිරියෙන්ම පසු වන්නේ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුය. ඔහු බ්‍රිතාන්‍යයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක රහසිගත දේපල  රැස් කර ඇති බව දක්වයි. එමෙන්ම රජතුමා ව්‍යාජ සමාගම් මාර්ගයෙන් ඇමරිකාවේ කැල්ෆෝනියාවේත් , වොෂින්ටන් අගනුවරත් , යුරෝපා රටවලත් ඉඩම් මිලදීගෙන තිබේ. මෙම අණාවරනයත් සමග ජෝර්දානයේ වැසියන් රජුට එරෙහිව නොසතුට පල කර ඇති බව අල් ජසීරා පුවත් මාධ්‍ය දක්වා තිබේ. 

             බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්

                        සහ ඔහුගේ බිරිඳ චෙරී                

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ වන චෙරී අයථා ලෙස මුදල් රැස් කර ඇති බව පැන්ඩෝරා වාර්තා පෙන්වා දෙයි. ඔවුන් ලන්ඩන් නුවර කාර්‍යාලයක් මිලදී ගැනීමේදී පවුම් මිලියන 6.45ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්තාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් 312,000ක මුද්දර ගාස්තු  නොගෙවා වංචා කර ඇති බව පැන්ඩෝරා පත්‍රිකා සදහන් කරයි.

තවද රුසියාවේ ජනාධිපති  ව්ලැදිමීර් පුටින්ගේ නමද මේ පැන්ඩෝරා පේපර්ස් වල සදහන් වන්නේ මොනාකෝ රාජ්‍යයේ තමා සතුව රහසිගත දේපල ඇති බැව් හෙලිදරව් කරමිනි. එමෙන්ම ජනතා මුදල් කොල්ල කෑ බවට චෝදනා එල්ල වන අසර්බයිජාන් ජනපති ඉල්හාම් අලිවේස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පවුම් මිලියන 400ක මුදල් යොදවා එක්සත් රාජධානියෙන් දේපල මිලදී ගැනීම් සිදුකර ඇති බව පැන්ඩෝරා පේපර්ස් සදහන් කරයි. තවද කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සය දෙනෙකු සතුව රහසේ ක්‍රියාත්මක විදෙස් සමාගම් ජාලයක් ඇති බව අණාවරනය වෙයි. එම ජාලයට සමාගම් 11ක් අයත් බවත් ඒවායේ වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 30ක් බවත් පැවසෙයි.

තවද සයිප්‍රසයේ ජනාධිපති නිකොස් ඇනෙස්ටාටියඩේස් ව්‍යාජ නම් වලින් විදෙස් සමාගම් වල මුදල් තැම්පත් කර තිබේ. එමෙන්ම යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි 2019 ජනාධිපතිවරණයෙන්  ජය ගත් සැනින් ඔහු සතු වත්කම් විදේශ බැංකු වල තැම්පත් කර ඇති බවට පැන්ඩෝරා පේපර්ස් තොරතුරු අණාවරනය කරයි.

එපමණක්ද නොව ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සුපිරි පොප් ගායිකා ශකීරා ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම්ද පැන්ඩෝරා පේපර්ස් මගින් හෙලිදරව් කර තිබේ.

පැන්ඩෝරා පේපර්ස් මගින් රහස්‍ය වත්කම් ගණුදෙනු පිලිබද චෝදනා ලත් පුද්ගලයින්ගෙන් ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ නායකයෙක් වන්නේ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රන් කාන්ය.එරට රජය හා සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන්ගේ නම්ද පැන්ඩෝරා ලේඛන වල දැක්වෙන අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට අදාලව විමර්ශනයක් සිදු කර ඔවුන් වැරදිකරුවන් ලෙස හෙලි වුනහොත් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පැන්ඩෝරා පේපර්ස් අණාවරනයේදී  " වොෂින්ටන් පෝස්ට් "  "ද ගාඩියන් " ආදී මාධ්‍ය ආයතන මූලිකත්වය ගෙන කටයුතු කරන අතරම එම මාධ්‍ය ආයතන උපුටා දක්වමින් ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන රැසක්ම මෙම අණාවරන ප්‍රසිද්ධියට පත් කර ඇත.


              රැසියානු ජනපති ව්ලැදිමීර් පුටින් 



       ඉන්දීය  ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්

මෙම වංචා හා ගණුදෙනු බොහෝ විට වසර ගණනක් ඉපැරණි ඒවා වන අතර රටක් අරාජික තත්වයට පත් වීමට එක දිගට අසාධාරණ ලෙස රටේ මුදල් සූරාකන පාලකයන් බිහි වීමේ ප්‍රථිපලයේ පිලිබිඹුවක් ලෙස පෙන්වා දිය හැකිය.කෙසේ වුවත් අතීතයේ සිදුකල මෙම වංචා සහ ගණුදෙනු එලිදරව් වන්නේ වර්තමානයේ බැවින් මේ සදහා පරීක්ෂණ සිදු කිරීමට සිදු වන්නේද පවතින වත්මන් ආණ්ඩුන් යටතේය.ඒ වන විට සියල්ල සිදු වී හමාර වන අතර කිරීමට ඉතිරිව ඇත්තේ චෝදනා ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණි.

 බොහෝ අවස්ථාවන්හිදී රටක් මූල්‍යමය හා ආර්ථිකමය වශයෙන් අස්ථාවර කරමින් මෙලෙස ලෝකයේ බලවතුන් යැයි කියාගන්නා ඇතැම් සම්මත පුද්ගලයින් තම සුඛ විහරණය උදෙසා රටේ අසරණ මහජනතාවගෙන් රට සංවර්ධනය පිණිස ලබා ගන්නා බදු මුදල් හා ණය ආධාර අසාධාරණ ලෙස සූරා කමින් රටේ ජනතාව පීඩාවට පත් කිරීම ඉතා නින්ධිත ක්‍රියාදාමයක් වශයෙන් හැදින්විය හැකිය. එලෙස සිදු කරන සමාජ අසාධාරණකම් පරයා නැගී සිටීමට මේ පැන්ඩෝරා පත්‍රිකා මගින් සිදු කරන මෙහෙවර අපමණ බව කිව හැකිය.

                                                                         -✍️ සදා

                      

Sunday 7 November 2021

වනිදු ලෝකෙන්ම එක වෙයි!


  වනිඳු ලෝකෙන්ම එක වෙයි !

වනිඳු! අද ලෝකයක් කතාබහ කරන මාතෘකාවක් බවට පත් වෙලා. ඒ ලෝකයෙන්ම අංක 1 දක්ෂතම මෙන්ම සුපිරිතම T-20 පන්දු යවන්නා බවට පත් වෙමින්.


ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේ ඉපදෙන පින්නදූවගේ වනිඳු හසරංග ද සිල්වා වයස අවුරුදු 24ක නවක මෙන්ම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් හඳුන්වන්න පුලුවන්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ වනිඳුගේ දක්ෂතාවයන් මුල් වරට හඳුනා ගන්නේද පාසලයි. ඒ පාසල් මට්ටමෙන් පැවති ක්‍රිකට් තරඟ වලදී ඔහු දැක්වූ විශිෂ්ඨ දස්කම් නිසාවෙන්.

මේ නිසාම ඉතාම කෙටි කාලයක් තුල ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසෙන වනිඳු දිනෙන් දින තම දක්ෂතා එලි දක්වමින් ටෙස්ට්, එක්දින, T-20 ක්‍රිකට් තරඟ වලදී පන්දු යැවීමෙන්, පන්දු රැකීමෙන් මෙන්ම පිතිහරඹයෙන්ද ක්‍රිකට් පිටිය වර්ණවත් කරමින් ලංකාවට ජයග්‍රහණ රැසක් හිමි කර දීමේ නියමුවා වන්නට හැකි වුණා. ඒ නිසාම ලෝ අති විශිෂ්ඨයන්ගේ එකතුවෙන් දිගහැරෙන IPL තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සාමාජිකත්වයද ඔහු වෙනුවෙන් වෙන් වුණා.


මේ සුපිරි දක්ෂතාවයන්හි උච්ඡතම අවස්ථාවේ උපරිම ඵල නෙලා ගනිමින් මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුලදී නවතම ICC T-20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 776 ක් ලබා ගනිමින් ලොව ප්‍රථම ස්ථානය ලබා ගැනීිමට වනිඳු හසරංග පසුගියදා (3 වැනිදා) සමත් වුණා . ඒ මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියූ ප්‍රසාද ලකුණු 770ක් ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සි  අභිභවමින්. එපමණක්ද නොව ICC T-20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් වලින්ද 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිඳු සමත් වී තිබෙනවා. කලකට පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු මෙලෙස ICC ශ්‍රේණිගත කිරීම් වල පලමු ස්ථාන අතරට පැමිණි පලමු අවස්ථාවද මෙයයි.

මෙලෙස දඟ පන්දු යවන්නෙකු වශයෙන් ක්‍රිකට් දිවියට පා තබා නොබෝ කලක් යාමට මත්තෙන් ලොවක් සසල කල අති දක්ෂ පන්දු යවන්නෙකු ලෙස වනිඳු මේ වන විට නම් දරා අවසන්. ඉතින්,මේ ආරම්භය පමණයි. යාමට තවත් බොහෝ දුර තිබේ. වනිඳු, ඔබට උණුසුම් සුභපැතුම්!
                                                                  
                                                              - ✍️සදා -


Thursday 14 October 2021

රිෂාඩ් බදියුර්දීන් ඇප මත නිදහස් කෙරේ


රිෂාඩ් බදියුර්දීන් ඇප මත නිදහස් කෙරේ

          මාස 6කට ආසන්න කාලයක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් මහතා අද දින ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කලා.

          ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනේ නඩු වාර්තා 2ක් යටතේ සැකකරු වශයෙනි.

          ඉන් එකක් වූයේ 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වන දින සිදු වූ "පාස්කු ප්‍රහාරයට" සම්බන්ධව රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වීමයි.ඒ අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පසුගිය අප්‍රේල් මස 24 වනදා ඔහුව අත්අඩංගුවට ගෙන මේ වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

‍          ඊට අදාල නඩුව අද මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූ අතර එහිදී මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

          ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හැරුණු  අතර සති 2කට වරක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග විය.

          රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටියදීම ඔහුගේ නිවසේ සේවය කල මෙහෙකාර දැරිය වූ "හිෂාලිනී ජූඩ් නැමති 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධියට "වරදකරු වශයෙන්ද ඔහුට චෝදනා එල්ල විය.මේ සිද්ධියට අදාල නඩුව අද දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබිණ.

          එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාලව විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති හෙයින්  සැකකරැ ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.
 
          ඒ අනුව රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කල අතර සැකකරුට විදෙස් ගමන් සියල්ල තහනම් කිරීමද සිදු කෙරිණි.

          වැඩිදුර නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස 18 වනදා නැවත වරක් කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදි.
                       
                                                                        -✍️සදා-

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද?

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද ? වාල්මිකී රචනා කල රාමායණය ප්‍රබන්ධයක්ද? රාමා,සීතා,රාවණා,හනුමාන් සැබවින්ම ජීවත් උනාද?රාම සේත...