Friday 16 June 2023

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද?

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද ?

වාල්මිකී රචනා කල රාමායණය ප්‍රබන්ධයක්ද? රාමා,සීතා,රාවණා,හනුමාන් සැබවින්ම ජීවත් උනාද?රාම සේතු පාලම ඉදි කරන ලද්දේ රාමාගේ වානර හමුදාවද?එලඹ ඇත්තේ මේ පිලිබද සොයා බැලීමට ඇති කාලයයි. ඒ ආදම්ගේ පාලම නැතහොත් රාම සේතු පාලම ස්වභාවික නිර්මාණය වූවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇමරිකාවේ "සයන්ස් චැනල් නාලිකාව" , "වට් ඔන් අර්ත්" නැමති විශේෂ වැඩසටහනක් මගින් කරන ලද හෙලිදරව්වක් හේතුවෙනි.

කලකට ඉහත නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් චායාරූප වලට හසු කරගෙන තිබේ. එම චායාරූප ඇසුරින් රාම් සේතු පාලම සම්බන්ධයෙන් පර්‍යේෂණයක නිරත වූ ඇමරිකන් භූ විද්වතුන් පිරිසක් මෙය ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදි කරන ලද්දක් ය යන නිගමනයට එලඹ තිබේ. එමෙන්ම සමුද්‍ර විද්වතුන්ද මෙය සාමන්‍ය වැලි පරයකින් එහා ගිය විශේෂ එකක් බව දක්වයි. වැලිපරය මතුපිට වෙනත් ප්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදි කර ඇතැයි ඔවුන්ගේ මතය විය.මෙවැනි විශාල පර්වත එම ස්ථානයට රැගෙන ආවේ කෙසේද? යන්න අභිරහසක් බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

ඇමරිකන් පුරාවිද්වරියක වන චෙල්සියා රෝස්ට අනුව මේ වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණිය. මේ පාෂාණ සම්බන්ධයෙන් කල කාල නිර්ණය පර්‍යේෂණ වලදී ඒවා වසර 7000ක් පමණත්, වැලිපරය වසර 4000ක් පමණත් පැරණි බවට අණාවරනය කරගෙන තිබේ. වැලිපරය පසු කාලයේ ස්වභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයිද, පාලම වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදි කරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වී තිබේ.

විද්වතුන්ගේ නව මතය ප්‍රකාශයට පත් වීමත් සමග ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වී තිබේ.භාරතීය ජනතා පක්ෂ නායකයන් රාම කුමරු පුරාවුර්තාන්තය සත්‍යක් බවට මේ හෙලිදරව්වෙන් පිලිගන්නා අතර, 2008 වසරේ ඉන්දීය රජය "සේතු සමුද්‍රම්" නමින් දෙකොන යා කර නාවික මාර්ගයක් ස්ථාපිත කිරීමට කල යෝජනාවට, භාරතීය ජනතා පක්ශය හා හින්දු අන්තවාදී සංවිධාන විරුද්ධ වූයේ පාලමේ කොටසකට හානි වන බවට චෝදනා කරමිනි.

සේතු සමුද්‍රම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඩී.එම්.කේ පක්ෂය පෙත්සමක් ගොනු කරන ලද අතර ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය වූයේ ,

"එහි පාලමක් නොමැත. මිනිසා නිර්මාණය කල කිසිවක් නොමැත. එවැන්නක් කල හැක්කේ සුපර්මෑන් කෙනෙකුට පමණි. පාලමක් ඉදි කෙරුනා නම් එය සුපිරි මිනිසෙකු ඉදිකරනු ලැබ, යලි ඔහු විසින්ම විනාශ කෙරෙන්නට ඇත.සියවස් ගණනාවක් පුරා මේ සම්බන්ධයෙන් කිසිවෙකු සදහන් කර නොමැත්තේ එහෙයිනි. මෙය රාම කුමරු ඉදිකල පාලමකැයි කියමින් එයට වන්දනාමාන කිරීම ඇරඹුනේ මෑතක සිටය" යන ලෙසිනි.

 රාම් සේතු පාලම යැයි හදුන්වන ප්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථාන වල අඩි 30ක් හා අඩි 3,4 අතර පමණ වේ යැයි "නිව්ස් 18" නැමති නාලිකාව සදහන් කරයි.

මෙහි ඇතැම් ස්ථානවල ඇති වැලිපර වියලිය.15 වැනි සියවස තෙක් මේ වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහලින් පැවතියේය. ඒ මතින් පා ගමනින් යා හැකිව තිබූ බව විද්වතුන් පවසති. පසුව ක්‍රි.ව 1480 ඇති වූ කුණාටුවකින් වැලි පරය විනාශ වී තිබේ.       

රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත්, ඉන්දියාවේ රාමේශ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය. එය සැතපුම් 30 පමණ දිගින් යුක්තය.මේ රාම් සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතී. හින්දු පුරාකතාවක් වන රාමායනයට අනුව ශ්‍රී ලංකාවේ  රාවණා රජු රාම කුමරුගේ බිසව සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය. ඇය ගලවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මේ පාලම ඉදිකල බව එහි සදහන් වේ. තවත් මතයකට අනුව අයිස් යුගයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබූ අතර ඉන්දියාවේ කොටසක්ව පැවති ශ්‍රී ලංකාව වසර 125,000 පමණ පෙර වෙන් වී තිබේ.

මේ පාලම පිලිබද ඉතිහසගත තොරතුරු ප්‍රථමයෙන්ම හමුවන වාල්මිකීගේ රාමායණයේ මෙය "රාමාසේතු" නැත්නම් "රාමාගේ පාලම" යන නමින් හදුන්වයි. රාමායණයේ 2-22-76 වැනි පද්‍යයට අනුව රාම එය "සේතුබන්ධනම්" ලෙස නම් කර තිබුණි. දැනට ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි.ව 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මේ ප්‍රදේශය "රාමන්කොයිල්" යනුවෙන්ද තවත් සිතියමක "රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය" යනුවෙන්ද මෙය හදුන්වයි. එමෙන්ම මාර්කෝපෝලෝගේ සිතියම් වල මේ ප්‍රදේශය "සේතුබන්ධ" සහ " සේතුබන්ධ රාමේශ්වරම් " යනුවෙන් නම් කර ඇත. ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත "බුක් ඔෆ් රොඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්" හි මෙය "මුහුදේ ඇති පාලම" ලෙස හදුන්වයි. 1804 බ්‍රිතාන්‍යන් නිර්මාණය කල සිතියමක මෙය ආදම්ගේ පාලම ලෙස දක්වයි. පුරාණ ඉස්ලාමික ග්‍රන්ථ වල ලංකාව හැදින්වෙන්නේ "ආදම්ගේ කන්ද" ලෙසය. ආදම් පොලවට පතිත වී, ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මේ ස්ථානය ඔස්සේ ගමන් කල බවට සදහන් වන හෙයින් රාමාගේ පාලම "ආදම්ගේ පාලම" ලෙස ලෙසින්ද   හැදින්වෙයි. කෙසේ වුවද වර්තමානයේ මෙය "සේතු සමුද්‍රම්" නමින් හදුන්වන්නේ "පාලමක් සහිත මුහුදු ප්‍රදේශය" යන අර්ථය ඇතිවය.

කරුණු කෙසේ වුවද විද්වතුන්ගේ මතය සත්‍යක් නම් මහ සයුර මතින් පාලමක් ඉදි කිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනකට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියකි. ඒ අනුව රාම පුරාවුර්තාන්තය ද සත්‍යයක් බවට පත් වනු ඇත.

 ✍️සදා -                



No comments:

Post a Comment

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද?

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්ද ? වාල්මිකී රචනා කල රාමායණය ප්‍රබන්ධයක්ද? රාමා,සීතා,රාවණා,හනුමාන් සැබවින්ම ජීවත් උනාද?රාම සේත...